රොහාන් පෙරේරාගේ “ගෝල්”

රොහාන් පෙරේරාගේ “ගෝල්” ළමා චිත්‍රපටය නැරඹුවා…මීට පෙර “හීන හොයන සමනල්ලු”, “A ලෙවල්” වගේ ළමයින්ට ගෝචර වන, ළමා මනස හඳුනා ගත් චිත්‍රපට හැදූ රොහාන් තුන්වැනි වතාවටත් ළමා චිත්‍රපටයක්ම කරලා තියෙනවා …කුඩා දරුවන් හැසිර වීමේ හැකියාව අතින් ඔහුගේ චිත්‍රපට තුනම විශේෂයි. රොහාන්ගේ අනික් චිත්‍රපට දෙකේදී තරම් නොවුණත් මේ චිත්‍රපටයේදී දරුවන්ගේ රඟපෑම යම් සාධනීය මට්ටමකින් පවත්වාගෙන යන්න රොහාන් සමත් වෙලා තියෙනවා..

ඒත් ගෝල් චිත්‍රපටය මතුපිටින් අතපත ගාන්නේ නැතුව මීට වඩා ගැඹුරු යටි තලයකින් touch කළා නම් අපට වඩාත් සතුටු වෙන්න ඉඩ තිබුණා….තිර පිටපත ලිවීමේ සිට රූගත කොට මුදා හැරීම දක්වා කිසියම් කලබලයකින් කටයුතු කොට ඇතිද කියා සැකයක් ඇති වෙනවා …
මූලිකවම මෙහි පාපන්දු පුහුණුකරු ගේ චරිතය රඟපාන්නට ජයලත් මනෝරත්න තෝරා ගැනීම ම නොගැළපීමක්. මනෝ අති දක්ෂ රංගන ශිල්පියෙකු බව සැබැයි. දරුවන් සමඟ කරට කර ක්‍රීඩා කරමින් පුහුණු කරන ජවාධික පුහුණුකරුවකු සිටියා නම් මීට වඩා කොතරම් අර්ථවත්ද ..එසේම කිසිදු දවසක පාපන්දුවක් අතින්වත් අල්ලලා නොතිබුණු දුෂ්කර ප්‍රදේශයක දරුවන් පළමු තරගයෙන්ම ජයග්‍රහණය කරා ගෙන යනවාට වඩා පන්දුව සමඟ තවත් ටික කාලයක් හැප්පෙන්න ඉඩ හැරියා නම් කොතරම් හොඳද ….අවසානයේ සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ගන්නා විට එහි කිසිදු අපූර්වත්වයක් අපිට නොදැනෙන්නේ ඒ නිසයි.

ළමයින්ට නොදැනෙනවා වෙන්නට පුළුවන් වුණත් මට දැනෙන අඩුපාඩු කිහිපයක් නොලියා ඉන්නට නොහැකියි. විශේෂයෙන්ම ළමයි විශාල ප්‍රමාණයක් සිටින (ඒ බව රූපරාමු වලින් නොපෙනුණත්, පංතියක දරුවන් 29 ක් පැමිණ සිටින බව පුවරුවක ලියා තිබුණා. ඒ අනුව පාසලේ අවම වශයෙන් දරුවන් 300 ක් වත් ඉන්න ඕනෑ.) පාසලක අඩුම තරමින් ගුරුවරුන් 15 ක් වත් ඉන්න ඕනෑ. ඒත් මේ චිත්‍රපටියේ විදුහල්පතිනිය හැරුණු කොට කිසිදු අවස්ථාවක වෙනත් ගුරුවරුන් දෙදෙනෙකුට වඩා දකින්නට නැහැ. ඒ වගේම වයඹ පළාතේ සිට පාන්දර කොළඹ බලා පිටත්වෙන පාපන්දු කණඩායම කොළඹට ළඟා වන විට රෑ බෝ වී තිබීම කෙසේවත් සාධාරණීකරණය කළ නොහැකියි. මගදි බස් එක කැඩුණා, තවත් තැන් බලන්න ගියා වගේ කතා කියල නං වැඩක් නෑ. අපිට රූපරාමු වලින් දැනෙන්නේ වැඩිම වුණොත් පැය 4 ක-5 ක ගමනක් පාන්දර ඉඳන් රෑ බෝ වෙනකල් ගියා වගේ. (තමන්ට ළඟා වෙන්න බැරි උසකින් සාරියක් එල්ලා ගෙන ගෙල වැළ දා ගත්තෙ කොහොමද ඇහුවම , ඉණිමගක් තියල නැග්ගේ, ඒක කලා අධ්‍යක්ෂ අයින් කළා කියලා සංජීව කිව්ව වගේ ගොං කතා රොහාන් නොකියන බව විශ්වාසයි. ඒකයි මේ දිගට ලියන්නේ.)

“ගෝල්” යනු දරුවන් වෙනුවෙන් හැදූ චිත්‍රපටයක්. දරුවන්ගේ මට්ටමින් ගත් කළ එය ත්‍රිල් චිත්‍රපටයක්. බිංදුවෙන් පටන් ගන්නා පාසල් පාපන්දු කණ්ඩායමක් සමස්ත ලංකා ජයග්‍රහණයක් ලැබීම දක්වා ගමනක් යාම ළමයින්ගේ ආනන්දය සඳහාම වනු ඇති. ඒත් සිනමාවේ ජයග්‍රහණ දෙස බැලීමේදී, අඩුම තරමින් රොහාන්ගේම පෙර නිර්මාණ දෙස බැලීමේදී “ගෝල්” තවත් එක් සරල චිත්‍රපටයකින් එහා යන්නේ නැහැ. “හීන හොයන සමනල්ලු” සිට “A ලෙවල්” දක්වා මා දුටු වර්ධනය ආපස්සට යන බවක් තමයි මට පෙනෙන්නේ.

රොහාන්ගෙන් අවසන් වශයෙන් එක් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. රොහාන්, ළමා චිත්‍රපට හැදුවා ඇති. දැන් “බඩු” ඉවරයි. ආයෙම ළමයින් තොරොම්බල් නොකොට වෙනත් මානයකට පිවිසෙන්න. තවත් සෝමරත්න දිසානායක කෙනෙකු සිංහල සිනමාවට අවශ්‍ය නැහැ. විවිධ ඉසව් කරා යන්න. වෙනත් ෆිල්ම් ෂානර වෙත එළැඹෙන්න. සිංහල සිනමාව තුළ ඔබේ පැවැත්ම තහවුරු වනු ඇත්තේ එවිටයි.

Henry Warnakulasuriya

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *