ඇස් පරීක්ෂාවට අලුත්ම බලවතෙක්!

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධි තාක්ෂණික රෙටිනල් කැමරාවක් (Retinal Camera) මඟින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමේ මහඟු අවස්ථාවක් කොළඹ අක්ෂි රෝහල සංවිධානය කර ඇත. දිවයිනේ රජයේ රෝහල් හෝ කිසිදු පෞද්ගලික රෝහලක රෙටිනල් කැමරාව මඟින් ඇස් පරීක්ෂා කිරීමක් මෙතෙක් සිදු නොවේ.

සෑම දියවැඩියා රෝගියකුම වසරකට වරක් තම ඇස් පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් එයට හේතුව වන්නේ දියවැඩියාව සඳහා කරනු ලබන ඇතැම් ප්‍රතිකාර මඟින් ඇසට හානි සිදුවිය හැකි අවස්ථා වැඩිවීමය. ඇතැම්විට ඇස් හානිවීමට ඉඩකඩත් ඇත. මෙම නවතම කැමරාවෙන් සිදුකරනු ලබන්නේ රෝගියාගේ ඇසේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමයි. මෙම කැමරාව මගින් සම්පූර්ණයෙන් ඇසම පරීක්ෂා කිරීමේ හැකියාවක් ඇත.

සාමාන්‍යයෙන් ඇස් පරීක්ෂා කිරීමේදී පළමුව ඇසට යම් ඖෂධයක් දමා “ඇසේ බබා” විශාල කිරීමක් කළ යුතුය. එම බෙහෙත රෝගියාගේ ඇසට ලබාදී ටික වේලාවක් සිටීම අත්‍යවශ්‍ය වේ. ඉන්පසුව වෛද්‍යවරයා විසින් කුඩා උපකරණයක් මගින් ඇස් පරීක්ෂා කිරීම සිදුකරයි. නමුත් රෙටිනල් කැමරාව මඟින් ඉතා ඉක්මනින් ඇස පරීක්ෂා කර ගැනීමේ හැකියාවක් පවතී. කෙටි කලකින් වැඩි රෝගී පිරිසක් පරීක්ෂා කිරීමේ හැකියාවද මෙම කැමරාව සතුව පවතී. අක්ෂි වෛද්‍යවරුන් අඩු රටකට මෙම කැමරාව ඉතා ප්‍රයෝජනවත් වේ. එකවිට ඇස සම්පූර්ණයෙන් හොඳින් දැකබලා ගැනීමේ හැකියාව නිසාම රෝගියාගේ රෝග තත්ත්වය පිළිබඳව ඉතා ඉක්මනින් තීරණය කරගත හැක.

අක්ෂි රෝහලට ඇස් පරීක්ෂා කර ගැනීම සඳහා ඉතා විශාල රෝගීන් පිරිසක් පැමිණෙති. ඇතැම් රෝගීන් කොළඹින් ඉතා ඈත ගම්වල සිට උදේ පාන්දර රෝහලට පැමිණ සිටියහ. පැමිණෙන පිළිවෙළ අනුව උස සහ බර මැනීමෙන් අනතුරුව රෝගීන් රෙටිනල් කැමරාවට යොමුකරති. හෙදි සොයුරියක් මඟින් අදාළ ඇස් පරීක්ෂාව සිදුකරයි. එය ඉතා සියුම්ව කළ යුතු පරීක්ෂාවකි. මේ සඳහා ඉතා සුහදශීලී හෙදි සොයුරු කණ්ඩායමක් රෙටිනල් කැමරා අංශයේ සේවයේ නිරත වෙති.

ටික වේලාවකින් රෝගියාගේ ඇස් දෙකේ වර්ණ ඡායාරූපයක් රෝගියාට ලබා දේ. එය ඉතා පැහැදිලි වර්ණ ඡායාරූපයකි. එමඟින් ඇස් දෙක සම්බන්ධව අක්ෂි රෝහලෙන් හෝ වෙනත් අක්ෂි වෛද්‍යවරයකුගෙන් හෝ ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාවක් රෝගියාට ඇත. මේ කිසිදු ඇස් පරීක්ෂාවක් සඳහා අක්ෂි රෝහල මුදලක් අය නොකෙරේ. නමුත් මෙය දිනකට සීමිතව කරනු ලබන ඇස් පරීක්ෂාවකි. ජර්මන් රටෙහි නිෂ්පාදිත රෙටිනල් කැමරාව අක්ෂි රෝහලට ලබාදී ඇත්තේ සති තුනකට පමණි. අද වනවිට රෙටිනල් කැමරාව මඟින් ඉතා විශාල දියවැඩියා රෝගීන් පිරිසක් ඇස් පරීක්ෂා කරගෙන ඇත. මේ සඳහා කලින් දින හෝ වෙලාවක් වෙන්කර ගැනීමක් අවශ්‍ය නොවන අතර සෙනසුරාදා, ඉරිදා, රජයේ නිවාඩු හැර සාමාන්‍ය රාජකාරි කරන වේලාවන්හිදී උදේ අටත් සවස හතරත් කාලය තුළදී පරීක්ෂා කරගත හැක.

මේ වනවිටත් ඉතා විශාල දියවැඩියා රෝගීන් පිරිසක් මෙම පරීක්ෂාව සිදුකර ගැනීම සඳහා රෝහල වෙත පැමිණේ. නමුත් දිනකට පරීක්ෂා සිදුකළ හැක්කේ රෝගීන් සියයක් වැනි පිරිසකට පමණි. රෙටිනල් කැමරා අංශයේ නිලධාරිනියන් ඉතා යුහුසුළුව මෙම කටයුත්තේ නිරත වෙති. මෙවැනි උපකරණයක් මඟින් ඉතා ඉක්මනින් රෝගීන් පිරිසකගේ පරීක්ෂාවන් කොට අදාළ රෝගීන් ඒ ඒ අංශයට යොමුකරලීමේ හැකියාවක් පවතී. මෙම පරීක්ෂාව සිදුකරලීම සඳහා වෛද්‍යවරයකු අවශ්‍ය නොවේ. ඒ සම්බන්ධව දැනුම ඇති හෙදි නිලධාරිනියකට වුවද මේ පරීක්ෂාව සිදු කිරීමට පුළුවනි. නමුත් ගැටලුව වන්නේ මෙය දින සීමාසහිත පරීක්ෂාවකි. අද වෙද්දී මෙය බොහෝ රටවල්වල ඇස් පරීක්ෂා කිරීමට යොදාගන්නා කැමරාවකි. නමුත් තවමත් මෙය ලංකාවේ රෝහල්වල නොමැත. ඇසේ ගැටලුවක් ඇත්නම් ලබාදෙන වර්ණ ඡායාරූපයෙන් වෛද්‍යවරයාට තීරණය කිරීමේ හැකියාව පවතී.

මෙවැනි විශාල සේවයක් ලබාදෙන කැමරාවක් ලංකාව වැනි රටකට ඉතා ප්‍රයෝජනවත් වේ. දියවැඩියා රෝගයෙන් අද වෙද්දී විශාල පිරිසක් පීඩා විඳිති. එමෙන්ම දියවැඩියා රෝගය නිසා ඇස දුර්වල වූ රෝගී පිරිසද සුළුපටු නොවේ. ඇතැමුන්ට තම රෝගය පිළිබඳව පවා නිශ්චිත අවබෝධයක් නොමැත. එක දිනකට අක්ෂි රෝහලෙන් විශාල පිරිසක් ප්‍රතිකාර ගැනීමට පැමිණේ. රෝගීන්ගේ තදබදය අඩු කිරීමත් ඉතා ඉක්මනින් ඇස් පරීක්ෂාව සිදුකිරීමටත් රෙටිනල් කැමරාව මහත් ප්‍රයෝජනවත්ය. මේ නිසාම ඉතාම ඉක්මනින් අප රටට මෙවැනි ප්‍රයෝජනවත් වෛද්‍ය පහසුකමක් ලබා ගන්නේ නම් එය රෝගී ජනතාවට ඉතා විශාල සහනයකි. රට තුළ අතවශ්‍ය නොවන බොහෝ දේවල්වලට මුදල් වැය කරද්දී මෙවැනි උපකරණයක වටිනාකම දැනෙන්නේ අසරණ රෝගීන්ට හා අසරණ මිනිසුන් වෙනුවෙන් හදවත උණුවන ජනතාවට පමණි.

විශේෂ ස්තූතිය – කායික රෝග හා දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතාට

දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප – සුමුදු හේවාපතිරණ
– දේශය –

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *