International News

තායිලන්ත රජතුමා වල්ලභ කාන්තාව පදවියෙන් ඉවත් කලේ ඇයි

තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජතුමා විසින් සිය වල්ලභ කාන්තාවක් වූ සීන්නීනාත් වොන්වෂිරාපක්දි(Sineenat Wongvajirapakdi) ඇය දැරූ තනතුරු සහ පදවිවලින් හිටිඅඩියේම ඉවත් කරනු ලැබීම රජපවුලේ නිරීක්‍ෂකයන් පවා අන්දුන් කුන්දුන් කිරීමට හේතුවිය.

තායිලන්ත රජතුමා විසින් සිය විවාහක බිරිඳවන නව රැජිනට සමාන්තරව ‘සීන්නීනාත්’ සිය වල්ලභ කාන්තාවක් ලෙස නම් කරන ලද්දේ පසුගිය ජූලි මාසයේදීය.

සීන්නීනාත් ඉන් අනතුරුව අග බිසව වන ‘සුතිදා’ රැජිනට සමාන තත්වයක් තමාටත් හිමිකර ගැනීමට උත්සාහ දරන ලද හෙයින් ඇයට දඬුවම් කිරීමට පියවර ගත් බව තායිලන්ත රජ මාලිගය පවසයි.

වල්ලභ කාන්තාව විසින් සිදු කරන ලදැයි පැවසෙන වැරදි හැටියට රජ මාලිගය සඳහන් කරන කරුණුවලට වඩා වැඩියමක් පැවතිය හැකිය යන්න ඇයගේ තත්වය පහළ හෙලීම සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැම් නිරීක්ෂකයන්ගේ අදහස වෙයි.

මහා වජිරලොංකොර්න් රජතුමා 2016 වසරේ තායිලන්තයේ කිරුළ හිමිකර ගන්නා ලද්දේ සිය පියරජු වූ භූමිබෝල් අතුල්‍යතේජ් රජුගේ අභාවයෙනි.

තායිලන්ත නීතිය අනුව රජතුමා විවේචනයට ලක් කරනු ලැබීම සිර දඬුවම් ලැබිය හැකි වරදකි.

වල්ලභ කාන්තාවගේ තත්වය

වල්ලභ(consort) යන වචනය මගින් හඳුන්වනු ලබන්නේ කිරුළ දරන්නාගේ හෝ දරන්නියගේ ස්වාමිපුරුෂයා, භාර්යාව හෝ සහකරුවකු හෝ සහකාරියකි.

තායිලන්තයේ සිදු කෙරුණේ රජුගේ නිල භාර්යාව වන ‘සුතිදා’ රැජිනට අතිරේකව රජතුමා සඳහා “රාජකීය වල්ලභ කාන්තාවක්” පත්කර ගැනීමය. ඒ අනුව ඇය “රැජිනක්” නොවීය.

සුතිදා රැජින මහා වජිරලොංකොර්න් රජතුමාගේ සිව්වෙනි බිරිඳ වන අතර, සීන්නීනාත් වොන්වෂිරාපක්දි රජතුමාගේ වල්ලභ කාන්තාවක් ලෙස පත්කර ගන්නා ලද්දේ රාජකීය විවාහයෙන් ඉතාම කෙටි කලකට පසුවය.

Sineenat Wongvajirapakdi සීන්නීනාත්
සීන්නීනාත්. බූමිබෝල් අතුල්‍යතේජ් රජතුමාගේ අවමඟුල් පෙරහැරේ ගමන්ගත් විලාසය

තායිලන්ත ඉතිහාසය අනුව රජපවුලේ බහු විවාහ චාරිත්‍රය සහ වල්ලභ කාන්තාවන් පත්කර ගැනීම සිදු කරන ලද්දේ අතිවිශාල රාජ්‍යයෙහි ඒ ඒ පළාත්වල බලවත් පවුල්වල අවනතභාවය සහතික කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙනි.

සියවස් ගණනාවක තායිලන්ත ඉතිහාසය පුරා එරට රජවරු භාර්යාවන් එසේත් නැත්නම් වල්ලභ කාන්තාවන් කීප දෙනෙකු බැගින් පවත්වා ගෙන ගොස් ඇත.

මහා වජිරලොංකොර්න් රජතුමාට පෙර අවසන් වරට තායිලන්ත රජතුමකු විසින් වල්ලභ කාන්තාවක් පත්කරනු ලැබ තිබෙන්නේ 1920 අවුරුදුවලදීය.

1932 දී තායිලන්තය ව්‍යවස්ථානුගත රාජාණ්ඩුවක් බවට පත්වීමෙන් අනතුරුව රාජකීය තනතුරක මට්ටමින් එවැනි පත්කිරීම් සිදුකර නැත.

සීන්නීනාත් වොන්වෂිරාපක්දි කාගේ කවුද?

ඇය වල්ලභ කාන්තාවක ලෙස ප්‍රකාශයට පත්කරන ලද අවධියෙහි රජමාලිගය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජීව දත්ත තොරතුරු හැරුන විට සීන්නීනාත් වොන්වෂිරාපක්දි පිළිබඳ තොරතුරු ව්‍යාකූල ස්වභාවයක් ගනී.

“අපි ඇයගේ අතීතය ගැන දන්නේ රජ පවුලට දැන ගැනීමට අවශ්‍ය කළ දේ පමණයි” කියෝතෝ සරසවියේ ගිනිකොණ ආසියානු අධ්‍යනාංශයේ මහාචාර්ය පවින් චැට්චාවාල්පොන්ග්පන් (Pavin Chachavalpongpun) පවසයි.

1985 වසරේ උපත ලද සීන්නීනාත් උතුරු තායිලන්ත කාන්තාවකි. ඇයගේ පළමු රැකියාව හෙද සේවයයි. ඒ අතරවාරයේ එවකට ඔටුන්න හිමි වජිරලොංකොර්න් කුමරුන් සමඟ සබඳතාවක් ඇතිකර ගනු ලැබීමෙන් පසු ඇයගේ දිවියට නව මාවතක් විවෘත වූ අතර, රාජකීය යුද හමුදාවේ සහ ආරක්ෂක සේවයේ තනතුරු උරුමකර ගත්තාය.

අංගාරක්ෂිකාවක්, ගුවන් නියමුවරියක් සහ පැරෂුට් පනින්නියක් බවට පත් සීන්නීනාත් වොන්වෂිරාපක්දි, අනතුරුව රාජකීය ආරක්ෂක අංශයට ඇතුල් වූ අතර, මේ වසර මුලදී මේජර් ජනරාල් නිලයට උසස්කරනු ලැබුවාය.

සීන්නීනාත්, පසුගිය ජූලි මාසයේ දී ඇය ලද ගරු පදවි සහ රාජ සභාව විසින් පිරිනමන ලද තනතුරු ආදියෙහි වඩාත් උත්කර්ෂවත් අවස්ථාව කරා ලඟාවුණේ සියවසකට අධික කාලයකට පසු පත් කෙරුණ ‘රාජකීය වල්ලභ කාන්තාව’ බවට පත් වීමෙනි.

සීන්නීනාත් එම පදවියට පත්කරන ලද වහාම තායිලන්ත රජ මාලිගය ඇයගේ නිල ජීවන වෘත්තාන්තයක් ද සමඟ ඇය පෙනී සිටින විවිධ ඉරියව් සහිත ඡායාරූප ගොන්නක් ප්‍රකාශයට පත්කළ අතර, එහි එක් පින්තූරයක ඇය ප්‍රහාරක ජෙට් යානයක් තුළ සිටිනු දක්නට ලැබෙයි.

එහෙත් ඒවා සියල්ල මේවනවිට තායිලන්ත රජ මාලිගයේ නිල වෙබ් අඩවියෙන් ඉවත් කරනු ලැබ ඇත.

සීන්නීනාත්
සීන්නීනාත් (මැද) තායිලන්තයේ රජතුමා සමඟ

ඇයට සිදුවුණේ කුමක්ද?

තායිලන්ත රාජකීය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබ ඇති නිවේදනයක් අනුව “වැරදි හැසිරීම සහ රාජ්‍යත්වයට එරෙහිව අකීකරුව ක්‍රියාකිරීම” හේතුවෙන් සීන්නීනාත් විසින් මෙතෙක් දරන ලද පදවි සහ තනතුරු ආදිය ඇයගෙන් ඉවත් කරනු ලැබ ඇත.

සීන්නීනාත් තනතුරු අභිලාෂයෙන් කටයුතු කර ඇති බවත්, රැජිනට සමාන තත්වයක් ඇයටත් ආරෝපණය කර ගැනීමේ ප්‍රයත්නයක නිරතවෙමින් සිටි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

“රාජකීය වල්ලභ කාන්තාවගේ හැසිරීම ගෞරවයට හානිදායක යයි සැලකිල්ලට ගනු ලැබුණි. රජතුමාට සහ රැජිනට අකීකරුභාවයක් ප්‍රදර්ශනය කොට ඇත. රජතුමා වෙනුවන් අණදීමට තරම් බලය යුතු ලෙස භාවිත කරනු ලැබ ඇත.” එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

“සීන්නීනාත් ඇයට පිරිනමන ලද පදවියට හෝ ඇයට හිමි තත්වයට උචිත හැසිරීමක නොවූ බව දැන ගැනීමට ලැබුණ,” බවත් රජතුමාගේ නිවේදනය පවසයි.

සිදුවූයේ කුමක්ද? යන්න තේරුම් ගැනීමට ඉවහල්වන කරුණු අතින් විනිවිදභාවයේ අඩුවක් ඇතැයි ‘කෝර්නෙල්’ සරසවියේ තායිලන්ත ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්ය තමරා ලූස් (Tamara Loos) සඳහන් කරයි.

“මීට සමාන ඕනෑම අවස්ථාවක දී සිද්ධිය පිටිපස්සෙ අනුග්‍රාහක වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා. සීන්නීනාත් එවැනි අනුග්‍රාහාත්මක වැඩ පිළිවෙලක පංගුකාරියක් වෙන්න ඉඩකඩ තියෙනවා. ඇය තමා සම්බන්ධයෙන් හරිහැටි වැඩ නොකළ මාවතක ක්‍රියාත්මක වෙමින් සිටියා විය හැකියි,” මහාචාර්ය තමරා ලූස් පවසන්නේ රාජ සභාව කල්ලිවාදීව ක්‍රියා කොට ඇති බවට ඉඟි කරමිනි.

සීන්නීනාත්ගේ අනාගතය

සීන්නීනාත් විසින් දරන ලද තනතුරු ඉවත්කරනු ලැබීම මිස, ඉදිරිකාලයෙහි ඇයගේ ඉරණම කුමක්විය හැකිද? යන්න තවමත් පැහැදිළි නැත.

“ඇයට කුමන තත්වයකට මුහුණ දෙන්නට සිදුවේද? යන්න ගැන අපට අදහසක් නැහැ” මහාචාර්ය පවින් චැට්චාවාල්පොන්ග්පන්(Pavin Chachavalpongpun) පවසයි. දැනට ඇය සම්බන්ධයෙන් කටයුතු සිදුවෙන ආකාරයේ විනිවිද පෙනෙන සුළු තත්වයක් නැතැයි මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ඇගේ අතීත ජීවිතයෙන් වැඩි කාලයක් පාලනය කරන ලද්දේ රාජ සභාව විසිනි. එපරිද්දෙන් ඇයගේ අනාගත ඉරණමත් විසඳෙන හැඩක් දක්නට ලැබෙයි.

සීන්නීනාත් හිටිඅඩියේ තත්වයෙන් පහත හෙළනු ලැබීම මහා වජිරලොංකොර්න් රජතුමාගේ පළමු භාර්යාවන් දෙදෙනකුට අත්වූ ඉරණම යළි සිහිගන්වයි.

සීන්නීනාත්
රජතුමා විවාහ පොතෙහි අත්සන් තැබීමට පෙර සුනිදා රැජිනගේ හිසෙහි පැන් ඉසින ආකාරය

රජතුමාගේ දෙවැනි භාර්යාව වූ ‘සුජාරිනී’ 1996 වසරේ දී ඉවත් කරන ලද අතර ඇය ඇමෙරිකා එක්සත් ජනපදයට පළා ගියාය. එපමණක් නොව, රජතුමාගෙන් ඇය ලද පුතුන් හතරදෙනෙකුගේ අයිතියද ඇයට අහිමි කරනු ලැබුණි.

රජතුමාගේ තුන්වෙනි බිරිඳ වූ ‘ශ්‍රී රස්මි’ කොතැනක සිටින්නේද යන්න අදත් දැන ගන්නට නැත. ශ්‍රී රශ්මි දැරූ සියලු තනතුරු අහිමි කරන ලද අතර, රජමාලිගයෙන් නෙරපා හරිනු ලැබුණි. රජතුමාට අවමන් කරන ලදැයි චෝදනා කරමින් ශ්‍රී රස්මිගේ දෙමව්පියන් අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබුණි.

ශ්‍රී රස්මි රජතුමාගෙන් ලද දැනට දාහතරවෙනි වියේ සිටින ඇයගේ පුත්‍රයා රජු භාරයට ගනු ලැබුණි.

රජතුමාගේ පැරණි භාර්යාවන් ඔවුන් පසුවෙන තත්වයන් පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර නොමැත.

එළි නොදැක්වූ වෙනත් කරුණු

මහා වජිරලොංකොර්න් රජතුමා, බලයට පත්වීමෙන් පසු ඔහුගේ පියා වූ භූමිබෝල් අතුල්‍යතේජ් රජු විසින් පාවිච්චි නොකළ මට්ටමින් තමා සතු බලතල භුක්ති විඳිමින් සිටියි.

මේවසර මුලදී රජතුමා බැංකොක් අගනුවර ඉතාම වැදගත් යුද සේනාංක දෙකක් කෙළින්ම තම අණසක යටතේ තැබීය.

නව තායිලන්ත ඉතිහාසයේ කිසිදාක දක්නට නොවූ මට්ටමින් රජතුමා විසින් එවැනි පියවරක් ගනු ලැබීම හමුදා බලය රජු අත පවතින බව ප්‍රදර්ශනය කිරීමක් වැනි විය.

සින්නීනාත්
“රජතුමා තමාට ලංවිය නොහැක යන සඥාව දෙයි”

“සිය වල්ලභ කාන්තාවගෙන් වෙන්වීම පිළිබඳ කාරණය ඉක්මවා ගිය පණිවුඩයක් රජතුමා යවන්නට ඇත,” යන අදහස සමඟ මහාචාර්ය තමරා ලූස් එකඟවෙයි.

“සීන්නීනාත් තනතුරුවලින් පහත හෙළීමේ දී අධිකරණය විසින් භාවිතා කරනු ලැබ ඇති නිර්දය සහ අමනෝඥ භාෂාව ඇයට දඬුවම් කිරීම නීත්‍යානුකූල කර ගැනීමට රජතුමාට තිබුණ උවමනාව පෙන්නුම් කරනවා,” මහාචාර්ය පවින් චැට්චාවාල්පොන්ග්පන්(Pavin Chachavalpongpun) සඳහන් කරයි.

“රජතුමාට ලංවිය නොහැක; ඔබ ඔහුගේ උදව් නොලබයි; ඔබ ඔබේ දිශානතිය පිළිබඳව පාලනයෙන් තොරය; කියන සඥාව රජතුමා දෙනවා.”

“මෙම සෑම ක්‍රියාමාර්ගයක්ම ආර්ථික හෝ හමුදාමය හෝ එසේත් නැත්නම් පවුල් සංස්ථාමය වශයෙන් හෝ නීතියේ බාධාවකින් තොරව ඔහු බලය අවභාවිත කිරීමක්,” මහාචාර්ය තමරා ලූස් වැඩිදුරටත් පෙන්වා දෙන්නීය.

“රජතුමා විවේචනය කරනු ලැබීම දඬුවම් ලැබිය හැකි වරදකි,” යන තායිලන්ත නීතිය අනුව ඉහත කී විවාද සහගත තනතුරු අහිමි කරනු ලැබීම රට තුළ ප්‍රසිද්ධියේ සංවාදයට ගත නොහැක.

එහෙත් සීන්නීනාත්ගේ ගරුත්වය හිටිහැටියේම ඉවත් කරනු ලැබීම බොහෝදෙනෙකුගේ සිත්සතන්හි මුල්තැනක රැඳී සිටිනු ඇතැයි නිරීක්ෂකයෝ විශ්වාස කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *