Business

පළමු නිල ජාත්‍යන්තර ගුවන් යානය යාපනයට ගොඩබසී

ශ්‍රී ලංකාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපල, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ දී විවෘත කෙරිණි. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසරිස් තරංජිත් සිං සන්ධු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

මෙය ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කෙරෙන තෙවැනි ගුවන් තොටුපල වන අතර මීට සමගාමීව කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපල හා මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපල ද , ඇතුළුවීමේ සහ පිටවීමේ අනුමත තොටුපල ලෙස ගැසට් නිවේදනයක් මගින් පසුගියදා (15) ප්‍රකාශයට පත්කරනු ලැබීය. මේ අනුව ශ්‍රී ලංකාව තුළ තිබෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංඛ්‍යාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල සමඟ 5 ක් දක්වා ඉහළ යනු ඇත.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමත් සමඟම ඊට ගොඩ බසින ලද පළමු ගුවන් යානය ලෙසින් ඉන්දියාවේ එලායන්ස් එයාර් ගුවන් යානයක් අද (17) පෙරවරුවේ දී යාපනය ගුවන් පථයට ගොඩබසින ලදී. මීට පෙර එලායන්ස් එයාර් ගුවන් යානයක් පසුගිය (15) දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පරීක්ෂණ චාරිකාවක් ලෙසින් ගොඩබැස තිබුණි.

එයාර් ඉන්දියා ගුවන් සේවයේ අනුබද්ධිත සමාගමක් වන එලායන්ස් එයාර්, චෙන්නායි සිට යාපනය දක්වා සතියකට ගුවන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *