Local News

වසර පහට මෛත්‍රී යටතේ ආණ්ඩුකාරවරු 36 දෙනෙක්

ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරු ඉවත්කිරීම, ඉවත්වීම හා මාරු කිරීම පසුගිය කාලයේදී නිතරම මාධ්‍යවලින් ඇසුණු පුවතකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එලෙස ආණ්ඩුකාරවරු අවස්ථා 36කදී මාරු කරන ලද අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් පදවිය හෙබැවූ ජනාධිපතිවරුන් අතරින් වැඩිම ආණ්ඩුකාරවරු පිරිසක් පත්කළ ජනාධිපතිවරයා ද ඔහුවේ.

උතුරු සහ නැගෙනහිර එක් පළාතක් ලෙස ක්‍රියාත්මක වූ කාලයේ  2006 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ප්‍රකාර පළාත් දෙක යළි වෙන් කරන තෙක් ශ්‍රී ලංකාවේ සිටියේ පළාත් ආණ්ඩුකාරවරු 8 දෙනෙකි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (අ) ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක් පිහිටුවනු ලැබ ඇති සෑම පළාතක් සඳහාම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයකු පත් කරනු ලැබේ. ජනාධිපතිවරයාට “ප්‍රසාදය” ඇතිතෙක් ආණ්ඩුකාරවරයාට එම ධුරය දැරිය හැකි බව ව්‍යවස්ථාවේ සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ආණ්ඩුකාර ධුරයක් දරු පුද්ගලයා වන්නේ හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානාය. ඔහු වසර 13ක් එනම් 2002 වසරේ සිට 2015 දක්වා එම ධුරයේ කටයුතු කර තිබේ. අඩුම කාලයක් ආණ්ඩුකාර ධුරය දැරූ පුද්ගලයා ලෙස 2018 වසරේ දිනකට පමණක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරධුරයට පත් රෙජිනෝල්ඩ් කුරේ හැඳින්විය හැකිය. එහෙත් රෙජිනෝල්ඩ් කුරේ ඊට පෙරාතුව උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය ඉසිලීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *