Local News News

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය: ඡන්ද කාලෙට දෙවියන් මතක් වෙන දේශපාලකයෝ

මන්ත්‍රාචාර්යවරු නැකැත් හදා දෙති. ජන්ම පත්‍රවල ග්‍රහ තරු පිහිටීම් පිරික්සමින් රාජයෝග සොයති. ජයග්‍රාහකයන් පිළිබඳව අනාවැකි කියති. ඇදුරෝ යාතුකර්ම කරති. කපුවෝ දෙවියන්ට භාරහාර වෙති.

මෙය ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ සමයන්හි සාමාන්‍යකරණයට ලක්ව ඇති අභිචාර විශේෂ වෙයි.

දේශපාලනය ලෞකික විෂයකි. එහෙත් ලෝකයේ බොහෝ රටවල පාලන තන්ත්‍රයේ නිරත වෙන්නන් දේශපාලනයේ එම ලෞකික පදනම අමතක කරමින්, බලය ලබා ගැනීමට සහ ලබා ගත් බලය තහවුරු කර ගැනීම සඳහා මිථ්‍යා ඇදහිලි සහ විශ්වාස – යාගහෝම පුදපූජා – කෙරෙහි නැඹුරු වීම රහසක් නොව, රූපවාහිනී කැමරා ඉදිරියේ පවා එළිපිට ම ප්‍රදර්ශනය කෙරෙන ප්‍රවණතාවකි. එම ප්‍රවණතාව විශේෂයෙන් ම දක්නට ලැබෙන්නේ ‘බලය’ සඳහා කෙරෙන දේශපාලන අරගලවලදීය.

මිනිසුන් සිය දුක් ගැහැටවලදී ඔවුන්ගේ සහනය සඳහා ආගම්වල පිහිට – ආශීර්වාදය පැතීමේ සමාජ චර්යාව සහ “දේශපාලන වරප්‍රසාද” වෙනුවෙන් අද්භූත මිථ්‍යා ඇදහිලි සහ විශ්වාස පසුපස යාම අතර වෙනස පැහැදිලිව හඳුනා ගත යුතු විෂය ක්ෂේත්‍රයන් දෙකකි.

කෙසේවුවද, බොහෝ දේශපාලකයෝ විශේෂයෙන් ම මැතිවරණ කාලවලදී දෙවියන්, ග්‍රහතාරකා සහ බොහෝ මිථ්‍යා ඇදහිලි හා විශ්වාස පිටුපස යාම වත්මන් සමාජයෙහි සාමාන්‍ය චාරිත්‍රයක් වැනි තත්වයකට පත්ව ඇත.

ජනාධිපති සහ අගමැති පදවිය වැනි ප්‍රධාන තනතුරු සඳහා තරගවදින්නන් ගේ ජන්ම පත්‍රවල රාජයෝග පිරික්සීම නක්‍ෂත්‍රකරුවන් විසින් පවරා ගන්නා ලද ‘රාජකාරියක්’ බවට පත් වී තිබේ.

අපේක්ෂකයන් නාම යෝජනාවලට අත්සන් තැබීම සහ ඒවා භාරදීම පවා බොහෝවිට සිදු කරනු ලබන්නේ නක්‍ෂත්‍රකරුවන් විසින් නියම කරන ලද ශුභ මුහුර්තීන්ට අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *